අමෙරිකාවේ දකුණු ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය ලහිරු ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂකයන් කණ්ඩායමක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාර බවට පත්කිරීමේ විප්ලවීය ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. නාසා ආයතනයේ අනුග්‍රහය යටතේ සිදුකළ මෙම පර්යේෂණය හරහා ප්ලාස්ටික් සහ ඉවතලන ශාක කොටස් භාවිතයෙන් 3D මුද්‍රිත කුකීස් නිෂ්පාදනය කර තිබේ.

මෙම ක්‍රියාවලිය සඳහා බහුලව භාවිත වන PET ප්ලාස්ටික් සහ ඉරිඟු ශාක කොටස් වැනි ජෛව ස්කන්ධ යොදාගනී. අධික උෂ්ණත්වය සහ පීඩනය යටතේ සැකසෙන මෙම අපද්‍රව්‍ය, විශේෂිත බැක්ටීරියා හෝ යීස්ට් වික්‍රියා ආධාරයෙන් ප්‍රෝටීන්, මේද සහ සීනි අඩංගු ජෛව ස්කන්ධයක් බවට පරිවර්තනය කෙරේ. අවසානයේදී මෙම මිශ්‍රණය රසකාරක සමඟ එක් කර 3D මුද්‍රණ යන්ත්‍රයක් මගින් කුකීස් ලෙස සකස් කරනු ලබයි.

මෙම නව නිෂ්පාදනය සඳහා “µBites” ලෙස නම් තබා ඇති අතර, අනාගතයේදී අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා මෙය ඉතා වැදගත් වනු ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම අඟහරු ග්‍රහයා වැනි දුරස්ථ ගමනාන්ත වෙත යන අභ්‍යවකාශ යානාවල පවතින ප්ලාස්ටික් ඇසුරුම් නැවත පෝෂ්‍යදායී ආහාර බවට පත් කරගැනීමේ හැකියාව මෙමගින් උදාවනු ඇත.

එමෙන්ම සබ්මැරීන සහ ස්වභාවික ආපදා වැනි ආහාර හිඟකම පවතින අවස්ථාවලදී මෙම තාක්ෂණය ප්‍රායෝගික විසඳුමක් වනු ඇත. 2050 වසර වන විට ලෝකය මුහුණ දෙන ආහාර අනාරක්ෂිතභාවයට විසඳුමක් ලෙස මෙම පර්යේෂණය වැදගත් වන අතර, ඉදිරියේදී මිනිසුන් සම්බන්ධ පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version