කෘතිම බුද්ධිය (AI) යන යෙදුම එම තාක්ෂණයේ සැබෑ ස්වභාවය නිවැරදිව නිරූපණය නොකරන බව පවසමින්, ඒ වෙනුවට ‘සුපිරි බුද්ධිය’ (Super Intelligence – SI) ලෙස එය හැඳින්විය යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

තම සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ පැවැත්වූ ඡන්ද විමසීමකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව ජනාධිපතිවරයා පවසයි. ඉදිරියේදී ඇමරිකානු සහ ගෝලීය ලේඛනවල ‘Artificial’ යන වචනය වෙනුවට ‘Super’ යන්න භාවිත කිරීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත්, තාක්ෂණික ක්ෂේත්‍රයේ විශේෂඥයන් මෙම යෝජනාව දැඩි විවේචනයට ලක් කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ ‘සුපිරි බුද්ධිය’ යන්න මීට දශකයකට පෙර දාර්ශනිකයන් විසින් මිනිසාට වඩා උසස්, තවමත් උපකල්පිත මට්ටමේ පවතින පද්ධති සඳහා වෙන් කළ යෙදුමක් බවයි.

වත්මන් AI තාක්ෂණය තවමත් එම මට්ටමට ළඟා වී නොමැති බැවින්, මෙම නාමකරණය නොමඟ යවන සුළු බව විද්වතුන්ගේ අදහසයි. කෙසේ වෙතත්, චීනය පරදා තාක්ෂණික ක්ෂේත්‍රයේ ගෝලීය පෙරමුණ ගැනීමට ඇමරිකාව කැපවී සිටින බව ජනාධිපති ට්‍රම්ප් මෙහිදී අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version