ජපානයේ අයිචි නගෝයා නුවරදී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට රුමේෂ් තරංග පතිරගේ සමත් විය.
මිසුහෝ උද්යාන ක්රීඩාංගණයේදී ඊයේ (28) පැවැති මෙම තරගයේදී රුමේෂ් මීටර් 88.55ක දක්ෂතාවක් වාර්තා කරමින් මෙම ජයග්රහණය හිමිකර ගත්තේය. ආසියානු ක්රීඩා උළෙලකදී රුමේෂ් තරංග පතිරගේ පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
පකිස්තානය, ඉන්දියාව සහ ජපානය නියෝජනය කරමින් පැමිණි ලෝක මට්ටමේ ප්රබල ක්රීඩකයන් රැසක් පරාජය කරමින් රුමේෂ් මෙම ජයග්රහණය වාර්තා කළේය. තරගයේදී ඉන්දීය ක්රීඩක යෂ්වීර් සිං මීටර් 85.72ක් වාර්තා කරමින් රිදී පදක්කම දිනාගත් අතර, ලෝකඩ පදක්කම තවත් ඉන්දීය ක්රීඩකයෙකු වන රෝහිත් යාදව්ට හිමිවිය.
23 හැවිරිදි වියේ පසුවන රුමේෂ් තරංග පතිරගේ මේ වන විට ලෝක ශ්රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන ක්රීඩකයෙකි. ඔහු මීට පෙර ජූනි මාසයේදී රෝමයේදී මීටර් 92.62ක දක්ෂතාවක් දක්වමින් ශ්රී ලංකා ජාතික වාර්තාව පිහිටුවීමටද සමත් විය.
මෙම තරග ඉසව්වට එක්වූ අනෙක් ශ්රී ලාංකික ක්රීඩක සුමේධ රණසිංහ හයවැනි ස්ථානය ලබා ගැනීමට සමත් විය. වත්මන් ඔලිම්පික් රන් පදක්කම් ලාභියා වන පකිස්තානයේ අර්ෂාඩ් නදීම්ට මෙවර තරගයේදී සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.
