ආසියානු සංවර්ධන බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, පසුගිය වසරේ මුල් මාස හතේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක අතිරික්තයක් පැවති මෙරට ජංගම ගිණුම, මෙම වසරේ එම කාලසීමාව තුළ ඩොලර් මිලියන 387ක හිඟයක් වාර්තා කර ඇත. ගෝලීය ආර්ථිකයේ සිදුවූ වෙනස්කම් සහ මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ආනයන වියදම් ඉහළ යාම මෙම තත්ත්වයට ප්රධාන වශයෙන් බලපා තිබේ.
වාර්තාව පෙන්වා දෙන පරිදි, මෙරට වෙළෙඳ භාණ්ඩ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 69ක වර්ධනයකි. මෙම කාලය තුළ ආනයන වියදම සියයට 25.8කින් ඉහළ ගොස් ඇති අතර, අපනයන ආදායම වර්ධනය වී ඇත්තේ සියයට 4.4ක මන්දගාමී අගයකිනි.
කෙසේ වෙතත්, විදේශගත ශ්රී ලාංකිකයන් එවන ප්රේෂණ ප්රමාණය සියයට 21.4කින් ඉහළ යාම මෙරට විදේශ ගෙවුම් ශේෂයට යම් සහනයක් වී ඇත. ඉන් සියයට 44ක්ම ලැබෙන්නේ මැදපෙරදිග කලාපයෙනි. සංචාරක ක්ෂේත්රය දෙස බලන විට, සංචාරක පැමිණීම සහ ඒ හරහා ලැබෙන ආදායම පහළ යාමක් පෙන්නුම් කරන බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
ආර්ථික පුරෝකථනවලට අනුව, මෙම වසරේ සහ ලබන වසරේදී ශ්රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 4ක මට්ටමේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, උද්ධමනය මහ බැංකු ඉලක්කයට වඩා ඉහළින් පැවතිය හැකි බවත්, දේශීය ණය බර සහ ශ්රම බලකායේ හිඟය වැනි අභියෝග කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් එම වාර්තාව අනතුරු අඟවයි.
