ශ්රී ලංකාවේ මත්ස්ය නිෂ්පාදන රුසියානු වෙළඳපොළට හඳුන්වා දීම සහ දෙරට අතර ධීවර ක්ෂේත්රයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව ශ්රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ඩිසගාරියන් මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතා අතර විශේෂ හමුවක් ධීවර අමාත්යාංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ටූනා, ඉස්සන් සහ කකුළුවන් වැනි ශ්රී ලංකාවේ උසස් තත්ත්වයේ මත්ස්ය නිෂ්පාදන රුසියාවට අපනයනය කිරීමේ අවස්ථා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එම අපනයන ක්රියාවලියේදී අනුගමනය කළ යුතු ජාත්යන්තර ප්රමිතීන් සහ ආහාර සුරක්ෂිතතා සහතික කිරීමේ ක්රමවේද පිළිබඳව ද දෙපාර්ශවයේ අවධානය යොමු විය.
ශ්රී ලංකාවේ ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය නවීකරණය කිරීම සඳහා රුසියාවේ නවීන තාක්ෂණය සහ උපකරණ භාවිත කිරීමේ හැකියාව පිළිබඳව ද අමාත්යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. විශේෂයෙන්ම ධීවර වරායන්හි යටිතල පහසුකම් සංවර්ධනය සහ ශීතාගාර පහසුකම් ඉහළ නැංවීම සඳහා රුසියානු ආයෝජනවල වැදගත්කම අවධාරණය කෙරිණි.
එමෙන්ම, දෙරටේ පර්යේෂණ ආයතන අතර සහයෝගීතාව වර්ධනය කරමින් තිරසාර ධීවර ක්රමවේද ප්රවර්ධනය කිරීමටත්, ශ්රී ලාංකික ධීවරයින් සඳහා තාක්ෂණික පුහුණු වැඩසටහන් ක්රියාත්මක කිරීමටත් එකඟතාව පළ විය. 1948 සිට පවතින දෙරටේ මිත්රත්වය සිහිපත් කළ අමාත්යවරයා, මෙම සාකච්ඡාවන් ඉදිරියේදී දෙරටේ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මග පාදනු ඇති බව ප්රකාශ කළේය.
