අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමත කෙරිණි. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව රැස්වූ අතර, ඒ සඳහා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

දූෂණ විරෝධී පනත ප්‍රකාරව කොමිෂන් සභාවේ මූල්‍ය ස්වාධීනත්වය සහ මෙහෙයුම් කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. විශේෂයෙන්ම භාණ්ඩාගාර චක්‍රලේඛ මගින් කොමිෂන් සභාවේ කාර්යභාරයට සිදුවන බාධා පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු පැහැදිලි කළ අතර, ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ නිදහස අත්‍යවශ්‍ය බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.

අනාගතයේදී අයවැය ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මැයි 30 වන විට ඇස්තමේන්තු කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට මෙහිදී එකඟතාව පළ විය. එසේම, කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය 971 දක්වා පුළුල් කිරීම සහ 2026 වසර අවසන් වීමට පෙර ප්‍රාදේශීය කාර්යාල 23ක් ස්ථාපිත කිරීමේ ඉලක්කය පිළිබඳව ද මෙහිදී අනාවරණය කෙරිණි.

ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රාදේශීය කාර්යාල සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත්, වත්කම් බැරකම් ප්‍රකාශ නොකළ පුද්ගලයන්ගෙන් අයකර ගන්නා දඩ මුදල් කොමිසමේ අරමුදලට බැර වන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වැටුප් ව්‍යුහය අභියාචනාධිකරණ සභාපතිවරයාගේ වැටුපට සමාන විය යුතු බවට ද කාරක සභාව නිර්දේශ කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version