බෝ නොවන රෝග පාලනය කිරීම සහ එමඟින් ආරක්ෂා වීම සඳහා ව්‍යායාමවල වැදගත්කම ජනතාවට අවබෝධ කර දීමේ ක්‍රියාවලියේදී ක්‍රීඩා වෛද්‍යවරුන්ගෙන් ඉටු වන්නේ විශිෂ්ට මෙහෙවරක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමයේ පස්වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

පාසල් මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ ලබා දීමට මෙම විශේෂඥ වෛද්‍යවරුන් කටයුතු කරන බව හෙතෙම පෙන්වා දුන්නේය. මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය ඒකක කිහිපයක් මේ වන විට පිහිටුවා ඇති අතර, එමඟින් ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට සහ සුරක්ෂිතතාවයට විශාල දායකත්වයක් ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ දශක තුනකට අධික ඉතිහාසයක් ඇති ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව, වර්තමානය වන විට සුවිශේෂී ප්‍රගතියක් අත්කර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන රෝග නිවාරණ සහ ප්‍රතිකාර වැඩසටහන් සඳහා මෙම ප්‍රගතිය මහත් පිටිවහලක් වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම වාර්ෂික අධ්‍යයන සැසිවාරය සඳහා විදේශීය රටවල් නියෝජනය කරමින් මහාචාර්යවරුන් සහ විද්වතුන් පිරිසක් ද සහභාගී වී සිටියහ. මෙවැනි ජාත්‍යන්තර සැසිවාර මඟින් දෙස් විදෙස් දැනුම හුවමාරු කර ගැනීමට මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ දැනුම තවදුරටත් වර්ධනය කර ගැනීමට විශාල අවස්ථාවක් උදا වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version