මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර අනුකූලතා පරීක්ෂාවට අදාළව, ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම සඳහා වූ පූර්ව සූදානම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම ඇගයීම ඔක්තෝබර් 26 දින සිට නොවැම්බර් 06 දින දක්වා සිදු කිරීමට නියමිතය. මෙහිදී අදාළ නිර්දේශ සහ ක්‍රියාකාරී සැලසුම් අමාත්‍යාංශ සහ ආයතන මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරිණි.

රටේ ආයතන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සහ ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. මෙය වෙනත් පාර්ශ්වවල බලපෑමක් මත නොව, රටේ අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

අපරාධයකින් උපයාගත් දේ පිළිබඳ පනත, සමාගම් පනත සහ භාර ආඥා පනත සංශෝධනය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ඉදිරි සති තුනක කාලය තුළ පූර්ණ කැපවීමකින් මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම ඇගයීම් ක්‍රියාවලියේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි. මෙම අවස්ථාව සඳහා මහ බැංකු අධිපතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version