දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය. 2023 වසරේ හඳුන්වා දුන් නව දූෂණ විරෝධී පනත 2025 වසරේ සිට සක්‍රීයව ක්‍රියාත්මක කිරීමේදී මතු වූ ප්‍රායෝගික, ආයතනික සහ මානව සම්පත් ගැටලු නිරාකරණය කිරීම මෙම සංශෝධනවල මූලික අරමුණයි.

පනතේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර පවතින අසංගතතා නිවැරදි කිරීම සහ අවශ්‍ය මානව සම්පත් බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම මෙම සංශෝධන මගින් සිදු කෙරේ. දූෂණ විරෝධී ක්‍රියාවලිය දියාරු කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, එය රටේ පරාජයක් ලෙස සලකන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් හා වගකීම් හෙළිදරව් කිරීමේදී මහජන නියෝජිතයන් එම වගකීම්වලින් ඉවත් කිරීමක් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බව ඇය මෙහිදී පැහැදිලි කළාය. දූෂණයට එරෙහිව ජනතාව අපේක්ෂා කළ පරිදි, අයථා ලෙස උපයාගත් මුදල් නැවත රජයට අයකර ගැනීමේ ක්‍රමවේද මෙම සංශෝධන මගින් තවදුරටත් ශක්තිමත් කෙරේ.

විපක්ෂය අසත්‍ය තර්ක ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන්නේ පැරණි දූෂිත දේශපාලන සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අවධාරණය කළාය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version