රණවිරුවන්ගේ නිවාස ගැටලුවලට විසඳුම් ලබාදීමේ අරමුණින් දිවයින පුරා ක්රියාත්මක කෙරෙන රාජ්ය ඉඩම් බෙදාදීමේ වැඩසටහනේ නියමු ව්යාපෘතිය පසුගියදා පොළොන්නරුව, ඇහැලියගොඩ පරාක්රමගම රණවිරු ගම්මානයේදී සාර්ථකව ආරම්භ කෙරිණි.
මෙම වැඩසටහන යටතේ ඇහැලියගොඩ අංක 26 දියබෙදුම ග්රාම නිලධාරී වසමේ අක්කර 25ක භූමි භාගයක පිහිටි ඉඩම් කොටස් 191ක් රණවිරුවන් වෙත නීත්යානුකූලව හිමිකර දීමේ කටයුතු ආරම්භ කර ඇත. ඒ සඳහා විශේෂ ජංගම සේවාවක් ද සංවිධානය කර තිබුණි.
මෙම ඉඩම් කොටස් 191 ශ්රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, ශ්රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරන රණවිරුවන් අතර බෙදා දී ඇත. ඒ අනුව යුද්ධ හමුදාවට 21ක්, නාවික හමුදාවට 18ක්, ගුවන් හමුදාවට 57ක්, පොලිසියට 90ක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට 05ක් ලෙස ඉඩම් කොටස් වෙන් කර තිබේ.
රණවිරු ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ද මෙම ව්යාපෘතියේ තවත් අරමුණකි. ඒ යටතේ විදුලිය, ජල සැපයුම, ක්රීඩාංගණ සංවර්ධනය සහ අවශ්ය ස්ථානවල විදුලි වැටවල් ඉදිකිරීම වැනි කටයුතු සැලසුම් කර ඇත.
ආරක්ෂක අමාත්යාංශයේ අතිරේක ලේකම්වරයා, ඇහැලියගොඩ ප්රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්ය නිලධාරීන්, ත්රිවිධ හමුදා සහ පොලිස් ජ්යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ප්රතිලාභී රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
