මානසික සෞඛ්ය ගැටලු සඳහා ලබාදෙන උපදේශන සේවාවන්, එම ගැටලුවල සැබෑ මූලයන් ආමන්ත්රණය කරන අයුරින් මෙහෙයවිය යුතු බව කාන්තා සහ ළමා කටයුතු අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් මහත්මිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ 2026 ලෝක මානසික සෞඛ්ය දිනයට සමගාමීව බත්තරමුල්ල සුහුරුපාය පරිශ්රයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
මෙවර ලෝක මානසික සෞඛ්ය දිනය “සැබෑ අත්දැකීම්වලට සවන් දෙමු, සැබෑ හඬින්, යථාර්ථවාදී වෙනසක්!” යන තේමාව යටතේ සැමරිණි. කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශය සහ ශ්රී ලංකා කාන්තා කාර්යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
අදහස් දක්වමින් අමාත්යවරිය පෙන්වා දුන්නේ මානසික සෞඛ්ය සංවර්ධනය යනු වෛද්ය විද්යාත්මක කාරණයක් පමණක් නොව, එය සමාජ විද්යාත්මකව විග්රහ කළ යුතු ගැටලුවක් බවයි. වර්තමානයේ බොහෝ දෙනා සමාජය තුළ හුදෙකලාව ජීවත් වීමට පුරුදු වී ඇති බවත්, පවුලක් ලෙස එකමුතුව කටයුතු කිරීමේ අවශ්යතාවය යළිත් මතුව ඇති බවත් ඇය අවධාරණය කළාය.
ගැටලුවක් ඇති වූ පසු එය සුවපත් කිරීමට වඩා, ගැටලු ඇතිවන පසුබිම හඳුනාගෙන එම මූලයන් සුවපත් කිරීමට අවධානය යොමු කිරීම වඩාත් වැදගත් බව අමාත්යවරිය වැඩිදුරටත් පැවසුවාය. මෙම අවස්ථාවට අමාත්යාංශ ලේකම්වරිය ඇතුළු රාජ්ය නිලධාරීන්, ත්රිවිධ හමුදා සහ පොලිස් නියෝජිතයින් මෙන්ම පාසල් සිසුන් පිරිසක් ද එක්ව සිටියහ.
