මධ්යම සහ දකුණු අමෙරිකානු කලාපයට බලපෑ ප්රබල භූමිකම්පාවක් හේතුවෙන් පැනමාවේ ගොඩනැගිලි රැසකට හානි සිදුවී තිබේ. රික්ටර් මාපකයේ 7.7ක ප්රබලත්වයක් සටහන් කළ මෙම භූමිකම්පාව, පැනමා නගරයේ සිට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි ජනාවාස අඩු ප්රදේශයකදී හටගෙන ඇත.
අමෙරිකානු භූ විද්යා සමීක්ෂණ ආයතනයට අනුව, භූමිකම්පාව පොළොව මතුපිට සිට කිලෝමීටර් 12.6ක ගැඹුරකින් හටගෙන ඇති අතර, ඉන්පසු පසුකම්පන 80කට අධික සංඛ්යාවක් වාර්තා වී තිබේ. භීතියට පත් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා පලා ගිය අතර, පෙනොනෝම් නගරයේ හෝටලයක කොටසක් කඩා වැටීම ඇතුළු හානි රැසක් වාර්තා වේ.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් කොලොම්බියාව, ඉක්වදෝරය, නිකරගුවාව, කොස්ටාරිකාව සහ ග්වාතමාලාව ඇතුළු අසල්වැසි රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි. කෙසේ වෙතත්, මේ දක්වා කිසිදු ජීවිත හානියක් හෝ බරපතළ තුවාල සිදුවීමක් වාර්තා වී නොමැත.
භූමිකම්පාවෙන් රටේ පළාත් හයක විදුලි සැපයුමට බාධා එල්ල වුවද, පැනමා ඇළ, තඹ පතල සහ ජාත්යන්තර ගුවන්තොටුපළ වැනි ප්රධාන ආර්ථික මර්මස්ථාන සාමාන්ය පරිදි ක්රියාත්මක වේ. අදාළ ප්රදේශයේ ජනගහනය අඩු මට්ටමක පැවතීම ජීවිත හානි අවම වීමට ප්රධාන හේතුවක් වී ඇති බව විද්යාඥයෝ පෙන්වා දෙති.
