රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇත.

මීට පෙර පසුගිය 9 වැනිදා කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණද, එදින ඔහු පෙනී නොසිටීම හේතුවෙන් අද දිනයේදී ප්‍රකාශයක් ලබාදීම සඳහා යළි කැඳවීම් සිදුකර තිබේ.

මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරනු ලබන්නේ මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී පොස්පේට් ආනයනය කිරීම සඳහා සමාගම් තුනකට බලපත්‍ර ලබාදීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට එල්ල වී ඇති චෝදනා මතය. 2022 සැප්තැම්බර් 8 වැනිදා සිට 2024 සැප්තැම්බර් 23 වැනිදා දක්වා කාලය තුළ මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවට සැක කෙරේ.

මෙම සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ එවකට පෞද්ගලික ලේකම්වරයාව සිටි සුමතිපාල ලියනාරච්චි මහතා පසුගිය සැප්තැම්බර් 22 වැනිදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version