ඉන්දියාවේ මහාරාෂ්ට්ර ප්රාන්තයේ රාජ්ය සේවා කොමිෂන් සභාවේ (MPSC) බඳවා ගැනීම්වල සිදුවූ බව කියන අක්රමිකතා සහ ප්රශ්න පත්ර පිටවීමේ සිද්ධීන් මුල් කරගනිමින් දින 10ක් පුරා පැවති සිසු විරෝධතාව අවසන් වී තිබේ. රජයේ නියෝජිතයන් සහ විරෝධතාවයේ නිරත අපේක්ෂකයන් අතර පැවති සාකච්ඡා සාර්ථක වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
මෙම ගැටලුව විමර්ශනය කිරීම සඳහා හිටපු විනිසුරු දිලිප් බොසාල්ගේ ප්රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමට රජය එකඟ වී තිබේ. ජ්යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරී තුකාරාම් මුන්ඩේ ඇතුළු සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විත වේ. පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු MPSC සභාපති විවේක් භිමන්වාර් සිය ධුරයෙන් නිවාඩු ලබා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
පූනේ නගරයේ පැවති මෙම විරෝධතාවට සහභාගී වූ අපේක්ෂකයන්, විමර්ශන කමිටුවක් පත් කිරීමට අමතරව තවත් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබුණි. ඒ අතර විරෝධතාකරුවන්ට එරෙහිව පවරා ඇති නඩු ඉවත් කිරීම, වසර තුනක් තුළ පුරප්පාඩු 70,000ක් පිරවීම සහ ඉදිරි විභාගවල බඳවා ගැනීමේ අවස්ථා වැඩි කිරීම ප්රධාන වේ.
කෙසේ වෙතත්, අවසරයකින් තොරව රැස්වීම් පැවැත්වීම සහ රථවාහන ගමනාගමනයට බාධා කිරීම වැනි චෝදනා මත විරෝධතා නියෝජිතයන් පිරිසකට එරෙහිව පූනේ පොලිසිය නඩු පවරා ඇත. සිසුන් ලක්ෂ 25කට ආසන්න පිරිසකට බලපෑම් එල්ල කළ මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුවනු ඇතැයි විරෝධතාකරුවන් බලාපොරොත්තු පළ කරති.
