පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සිටින ආචාර්යවරුන් අටසීයකට ආසන්න පිරිසෙන් සියයකට වැඩි පිරිසක් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ සිය රැකියාවන් අතහැර ගොස් ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය රුචික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් රජය නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත්, තවත් පිරිසක් ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇති බවත් වාර්තා වේ. ආචාර්යවරුන්ගේ හිඟය හේතුවෙන් සිසුන් 25,000ක් පමණ අධ්‍යාපනය ලබන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු දැඩි අර්බුදයකට ලක්ව ඇත.

සමහර උපාධි පාඨමාලා සඳහා එම විෂය ක්ෂේත්‍රයට අදාළ ආචාර්යවරුන් නොමැති වීම නිසා වෙනත් විෂයයන් උගන්වන ආචාර්යවරුන් ලවා එම පාඨමාලා පවත්වාගෙන යාමට සිදුව ඇති බව ආචාර්ය ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය. මෙම තත්ත්වය මත නවක සිසුන් බඳවා ගැනීම තවදුරටත් අර්බුදකාරී විය හැකි බව ඔහු අනතුරු අඟවයි.

මීට අමතරව, සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත්ව මුදල් නිසි කලට නොලැබීම සහ නේවාසිකාගාරවල පවතින ඉඩකඩ මඳකම වැනි ගැටලු හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇත. මෙම ගැටලුකාරී වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථානය පහළ බැස ඇති බවද වාර්තා වේ.

අධ්‍යාපනය සඳහා අයවැයෙන් 6%ක් වෙන් කරන බවට පොරොන්දු වුවද, පසුගිය වසරේදී සැබෑ ලෙස වෙන් කර ඇත්තේ 2%ක් පමණක් බව ආචාර්යවරු පෙන්වා දෙති. වහාම විසඳුම් නොලැබුණහොත් ඉදිරි වසර දහය තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බරපතළ කඩා වැටීමකට ලක්වීමේ අවදානමක් පවතින බව ඔවුහු අවධාරණය කරති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version