2008 වසරේ මඩකලපුව ප්රදේශයේදී T-56 ගිනි අවි භාවිත කරමින් පුද්ගලයින් පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්ය අමාත්ය සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඔක්තෝබර් 27 වන දින දක්වා යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙස මඩකලපුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.
මඩකලපුව මහේස්ත්රාත් අන්නාතුරෙයි දර්ශනී මහත්මිය විසින් අද (13) මෙම නියෝගය ලබා දී ඇත්තේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩුව කැඳවූ අවස්ථාවේදීය.
මෙම ඝාතන සිද්ධීන් අතරට කලවඩි ප්රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීම, කාත්තන්කුඩි ප්රදේශයේදී ටී.එම්.වී.පී පක්ෂ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීම සහ වවුනතිව්, කරයාකන්තිව් ප්රදේශයේදී ව්යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධීන් ඇතුළත් වේ.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2025 අප්රේල් මාසයේදී අත්අඩංගුවට ගත් පිල්ලෙයාන් සහ යුද හමුදා බුද්ධි අංශ තොරතුරු සපයන්නන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුවට අදාළව ඉදිරිපත් කර තිබුණි. මෙම සිද්ධියට සම්බන්ධ බව කියන ලන්ඩන් නුවර පදිංචි මොහොමඩ් ෆයිස් නැමැත්තාට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව තවදුරටත් ක්රියාත්මක කිරීමටද අධිකරණය නියෝග කළේය.
