මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ස්වභාවික ව්‍යසනය වන ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව යළි දෙපයින් නැගී සිටින තෙක් රජය ඔවුන් අත් නොහරින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය. මහනුවර නගරශාලාවේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ආපදාවට ලක්වූවන්ට ඉඩම් ඔප්පු සහ වන්දි චෙක්පත් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
දිට්වා ආපදාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 58,753ක් බලපෑමට ලක්ව ඇති අතර, ඉන් පවුල් 7,941ක් නැවත පදිංචි කිරීමේ අවශ්‍යතාව පවතින බව වාර්තා වේ. රජයේ ඉඩම්, පෞද්ගලික ඉඩම් සහ වතු ආශ්‍රිතව මෙම පවුල් නැවත පදිංචි කිරීම සඳහා විකල්ප ක්‍රමවේද හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා කඩිනම් කරමින් පවතී.
ආපදා සහන කටයුතු සඳහා රජය රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කර ඇත්තේ දූෂණය හා වංචාව අවම කර භාණ්ඩාගාරය සතු ඉතිරි කිරීම්වලින් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. ඒ අනුව, නිවාස පිරිසිදු කිරීම, මුළුතැන්ගෙයි උපකරණ මිලදී ගැනීම සහ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වන සහනාධාර මේ වන විටත් බහුතරයක් ප්‍රතිලාභීන් වෙත ලබා දී අවසන්ය.
සහනාධාර බෙදා දීමේදී ඇතැම් පරිපාලනමය ගැටලු සහ නීතිමය බාධාවන් මත ප්‍රමාදයන් සිදුවුවද, එම ගැටලු විසඳා සැබෑ ලෙසම අසරණ වූ ජනතාවට සහන සැලසීමට රජය පියවර ගෙන ඇත. ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති මේ වන විට අවසන් අදියරේ පවතින බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
