ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වාගෙන ගිය විරෝධතා අට්ටාල ඉවත් කර ගැනීමට එහි නිරත පිරිස කටයුතු කර ඇත. කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් අදාළ ස්ථානයේ විරෝධතාවයේ නිරත වීම වළක්වාලමින් නිකුත් කළ නියෝගය පොලිසිය විසින් භික්ෂූන් වහන්සේ වෙත දැනුම් දීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිරදඬුවම සම්බන්ධයෙන් සිදුකරන මෙම විරෝධතාවය ප්රජාතන්ත්ර විරෝධී බව ජාතික භික්ෂු පෙරමුණ පවසයි. අධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුවකට එරෙහිව මෙලෙස බලපෑම් කිරීම නීතියට ගරු කරන රටකට නොගැලපෙන බව එම පෙරමුණේ අදහසයි.
පරාජිත දේශපාලන කණ්ඩායම් තම පටු අරමුණු වෙනුවෙන් බුද්ධ චීවරය අවභාවිත කරන බවට ද ජාතික භික්ෂු පෙරමුණ චෝදනා කරයි. රට ආර්ථික වශයෙන් ගොඩනැගෙමින් පවතින මොහොතක මෙවැනි ක්රියාකාරකම් මගින් රටේ ස්ථාවරත්වයට බාධා ඇති විය හැකි බව ආර්ථික විද්යාඥයින් ද පෙන්වා දෙයි.
මේ අතර, ඥානසාර හිමියන්ට එරෙහිව පවතින නීතිමය තත්ත්වය අධිකරණය හරහාම විසඳා ගත යුතු බවත්, කිසිවෙකුටත් නීතියට ඉහළින් යාමට ඉඩ නොදිය යුතු බවත් විවිධ පාර්ශ්ව අවධාරණය කරයි. විරෝධතාවය අත්හැරීමට තීරණය කළ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස මේ වන විට විහාරමහා දේවී උද්යානය වෙත ගොස් ඇත.
