දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී ප්‍රමිතියෙන් තොර PVC ජලනළ සහ සන්ධි උපාංග 1140ක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සිය භාරයට ගෙන ඇත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය හෝ ලාංඡනය නොමැතිව අලෙවි කෙරෙන මෙම භාණ්ඩ සම්බන්ධයෙන් ලද තොරතුරු මත මෙම වැටලීම් සිදු කෙරිණි.

පසුගිය ඔක්තෝබර් 13 සහ 14 යන දිනවල දිස්ත්‍රික්ක 20ක් ආවරණය වන පරිදි මෙම වැටලීම් සිදු කර ඇති අතර, එහිදී වෙළෙඳ ආයතන 87ක් පරීක්ෂාවට ලක් විය. ඉන් ආයතන 65කම අදාළ භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිසි බිල්පත් නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයකට අනුව, PVC ජලනළ සහ උපාංග සඳහා ප්‍රමිති සහතිකකරණය අනිවාර්ය කර ඇත. එම නීතිමය විධිවිධාන උල්ලංඝනය කරමින් කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව අධිකාරිය වැඩිදුරටත් පවසයි.

පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සහ භාණ්ඩවල ගුණාත්මකභාවය තහවුරු කිරීම අරමුණු කරගනිමින් ඉදිරියටත් මෙවැනි වැටලීම් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version