මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ කටයුතු ප්‍රාදේශීය මට්ටමින් සිදුකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. මීට පෙර මෙම සේවාව ලබාගැනීම සඳහා කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණීමට මහජනතාවට සිදුව තිබූ අතර, එම අපහසුතාව මගහැරීම මෙම නව පියවරේ අරමුණයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ප්‍රනාන්දු මහතාගේ සංකල්පයකට අනුව සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අනුරාධපුරය, ගම්පහ, කුරුණෑගල, යාපනය සහ හම්බන්තොට යන ප්‍රාදේශීය කාර්යාල හරහා නව යතුරුපැදි ලියාපදිංචිය සිදුකර ගත හැකිය.

මෙම වැඩපිළිවෙලේ සමාරම්භක අවස්ථාව අනුරාධපුර කාර්යාලයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනුරාධපුර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් ප්‍රසන්න යසරත්න මහතා පවසන්නේ, නව යතුරුපැදි ලියාපදිංචියට අමතරව එම කාර්යාලයෙන් මෙතෙක් සිදුකළ අනෙකුත් සියලුම සේවාවන් සුපුරුදු පරිදි මහජනතාවට ලබාගත හැකි බවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version