කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරත පිරිසට ඉවත් වන ලෙස මීට පෙර ලබා දී තිබූ අධිකරණ නියෝගය වෙනස් කළ නොහැකි බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ප්‍රකාශ කළේය. අදාළ නියෝගයට එරෙහිව සත්‍යග්‍රහයේ නිරත පාර්ශ්වය මෝසමක් ගොනු කරමින් එය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියද මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

සිරදඬුවම් විඳින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා මෙම සත්‍යග්‍රහය පැවැත්වේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, මෙම ස්ථානයේ අඛණ්ඩව රැඳී සිටීමෙන් පොදු දේපළවලට හානි සිදුවිය හැකි බවත්, මහජන සාමය පවත්වා ගැනීම සඳහා මෙම නියෝගය අත්‍යවශ්‍ය බවත්ය.

විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ විරෝධය පළ කිරීම මූලික මිනිස් අයිතිවාසිකමක් බවත්, තමන් නීතිගරුකව කටයුතු කරන බවත්ය. කෙසේ වෙතත්, මහෙස්ත්‍රාත්වරයා අවධාරණය කළේ මහජන සාමය සහ පොදු දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් ලබා දුන් නියෝගය වෙනස් කිරීමට කරුණු නොමැති බවයි.

එමෙන්ම, අධිකරණ නියෝගය කියවා දෙන අවස්ථාවේදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් බාධා කිරීම් සිදු වූ බවට රජයේ නීතිඥවරයා චෝදනා කළේය. අදාළ නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කරන්නේ නම්, දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිමය පියවර ගැනීමට පොලිසියට බලය ඇති බවද අධිකරණය සිහිපත් කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version