ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් ‘INS Tir’, ‘INS Sujata’ සහ ‘ICGS Sarathi’ යන නෞකා තුන අද (26) කොළඹ වරායට පැමිණියේය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව මෙම නෞකා පිළිගනු ලැබීය.

මෙම නෞකා තුනෙහි පුහුණුව ලබන නිලධාරීන් 135 දෙනෙකු සංචාරයට එක්ව සිටින අතර, එම නෞකාවල අණදෙන නිලධාරීන් බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා හමුවී සුහද පිළිසඳරක නිරත විය. එහිදී දෙරට අතර පවතින සබඳතා සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීමද සිදු කෙරිණි.

සිය සංචාරය අතරතුර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව වර්ධනය කිරීමේ වැඩසටහන් සඳහා මෙම නෞකාවල කාර්ය මණ්ඩලය සහ පුහුණුව ලබන නිලධාරීන් එක්වීමට නියමිතය.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ට මෙම නෞකාවල පුහුණු මෙහෙයුම් නිරීක්ෂණය කිරීමට සහ වෘත්තීය දැනුම හුවමාරු කර ගැනීමටද අවස්ථාව හිමිවේ. මීට අමතරව, ඉන්දීය නාවික කණ්ඩායම දිවයිනේ වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version