එන්ජින් ඔයිල්, ගියර් ඔයිල්, ලිහිසි තෙල් සහ ග්‍රීස් අලෙවි කරන සියලුම වෙළඳුන් තම නිෂ්පාදනවල රජයේ අනුමත ගිවිසුම් අංකය අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) අවධාරණය කරයි.

2023 අප්‍රේල් 12 දිනැති අංක 2327/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් විධානවලට අනුව, ශ්‍රී ලංකා රජය සමඟ වලංගු ගිවිසුමකින් තොරව ලිහිසි තෙල් හෝ ග්‍රීස් ආනයනය කිරීම හෝ නිෂ්පාදනය කිරීම තහනම් වේ. ඒ අනුව, වෙළඳපොලේ ඇති සෑම නිෂ්පාදන ඒකකයකම අදාළ ගිවිසුම් අංකය පැහැදිලිව මුද්‍රණය කර තිබිය යුතුය.

මෙම රෙගුලාසිය ආනයනකරුවන්ට සහ නිෂ්පාදකයින්ට පමණක් නොව, සිල්ලර වෙළඳුන්ට ද අදාළ වන බව අධිකාරිය පෙන්වා දෙයි. තොග වශයෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී අදාළ ගිවිසුම් අංකය සත්‍යාපනය කර ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය මිලදී ගැනීමේ බිල්පත් සහ ඉන්වොයිසි ආරක්ෂිතව තබා ගැනීමටත් වෙළඳුන්ට උපදෙස් ලබා දී ඇත.

වෙළඳපොලේ විකිණීමට ඇති නිෂ්පාදනවල ලේබල් පරීක්ෂා කර අනුකූලතාවය සහතික කරන ලෙස ද වෙළඳුන්ගෙන් ඉල්ලා සිටී. ඉදිරියේදී සිදුකරන විශේෂ වැටලීම්වලදී මෙම නීති උල්ලංඝනය කරන පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

පාරිභෝගිකයින්ට මෙම නීති රීති උල්ලංඝනය වන අවස්ථා සම්බන්ධයෙන් 1977 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ද අධිකාරිය දැනුම් දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version