2027 වසරේ අයවැය හරහා සංවර්ධන වැඩසටහන්වල ප්රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 2,000ක අතිවිශාල මුදලක් වෙන් කිරීමට රජය අපේක්ෂා කරන බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
කිලිනොච්චියේ පැවති ප්රජා සංවර්ධන සභා නියෝජිතයන්ගේ සමුළුවකට එක්වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ මෙම සංවර්ධන සැලසුම් ක්රියාත්මක කෙරේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්යවරයා අවධාරණය කළේ, සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී කාර්යාලවලට වී තීරණ ගැනීමේ පැරණි ක්රමවේදය වෙනුවට, ග්රාමීය ජනතාවගේ සැබෑ අවශ්යතා හඳුනාගෙන පහළ සිට ඉහළට සැලසුම් සකස් කිරීම ‘ප්රජා ශක්ති’ වැඩසටහනේ අරමුණ බවයි.
ජාතික, ආගමික හෝ ප්රාදේශීය භේදයකින් තොරව සියලුම ජනකොටස්වලට සමාන සංවර්ධන අවස්ථා උදාකර දීම රජයේ අපේක්ෂාව බව ද ඔහු පැවසීය. විශේෂයෙන්ම දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්රික්කය සඳහා රුපියල් මිලියන 363ක් සහ කිලිනොච්චි දිස්ත්රික්කය සඳහා රුපියල් මිලියන 324ක ප්රතිපාදන දැනටමත් අනුමත කර ඇත.
මෙම ප්රතිපාදන කිසිදු අවභාවිතයකින් තොරව ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ආදායම් මාර්ග ශක්තිමත් කිරීම සඳහා යොදවන ලෙස අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
AI illustration; not a photograph of the reported event.
