2018 වසරේදී පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝස් වත්තේදී ටී-56 ගිනි අවියක් සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් සඟවා තැබීම ඇතුළු චෝදනා පහකට වරදකරු වූ මොහොමඩ් සරිෆු ආදම් ලෙබ්බේ හෙවත් ‘ගෆූර් මාමා’ නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 60ක සිරදඬුවමක් නියම කළේය.

මෙම සිරදඬුවම් සියල්ල එකවර ගෙවී යන පරිදි වසර 12ක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට අධිකරණය නියෝග කළේය. විත්තිකරු 2019 වසරේ සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටි වසර 7යි මාස 6ක කාලය මෙම දඬුවම් කාලයෙන් අඩු කිරීමට ද විනිසුරු මඬුල්ල පියවර ගත්තේය.

විනිසුරු ලාල් ආර්. බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්‍රමසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ විත්තිකරු තමන්ට එරෙහිව ගොනු කර තිබූ සියලුම චෝදනා පිළිගත්තේය. අධිකරණයේ කාලය ඉතිරි කරමින් වරද පිළිගැනීම සහ විත්තිකරුගේ වයස සැලකිල්ලට ගනිමින් මෙම ලිහිල් දඬුවම ලබාදුන් බව සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, වරදකරුවන්ට යහපත් පුද්ගලයන් ලෙස සමාජගත වීමට අවස්ථාව ලබාදීම අධිකරණයේ වගකීමක් වුවද, යළි මෙවැනි අපරාධ සිදු කිරීම වැළැක්වීම සඳහා දැඩි නීතිමය පියවර ගන්නා බවයි. නඩු විභාගය අතරතුර විත්තිකරුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට ද නියෝග කෙරිණි.

මේ අතර, මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු වන මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිත් හෙවත් ‘සජිත් මවුලවි’ තමාට එරෙහි චෝදනා කෙටි ක්‍රමයකින් අවසන් කිරීමට කැමැත්ත පළ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන නියෝගය අද (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version