ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ කොඳු නාරටිය බඳු කුඩා පරිමාණ ධීවර කර්මාන්තය නවීකරණය කරමින්, එම ප්‍රජාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් ජාතික ක්‍රියාකාරී සැලැස්මක් (NPOA-SSF) සංවර්ධනය කිරීමේ වැඩමුළුවක් මීගමුවේදී සාර්ථකව පවත්වා තිබේ.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහා බෙංගාල බොක්ක කලාපීය අන්තර් රාජ්‍ය සංවිධානයේ (BOBP-IGO) අනුග්‍රහය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) තාක්ෂණික මගපෙන්වීම හිමි විය.

දිවයිනේ වෙරළබඩ දිස්ත්‍රික්ක 8ක් ආවරණය වන පරිදි සිදුකළ පුළුල් සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම සැලැස්මේ මූලික අදියර සකස් කර ඇත. තිරසාර සම්පත් කළමනාකරණය, සමාජ සංවර්ධනය, රැකියා නියුක්තිය සහ විධිමත් සේවා පරිසරයක් ගොඩනැගීම යන කරුණු කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය.

එමෙන්ම දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම සහ පශ්චාත් අස්වනු තාක්ෂණය දියුණු කිරීම වැනි ක්ෂේත්‍ර ඔස්සේ ධීවර ප්‍රජාව සවිබල ගැන්වීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පර්යේෂකයින්, විද්වතුන් සහ ධීවර ප්‍රජා නායකයින් විශාල පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version