ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල රෝහලේ අකුණු සන්නායක පද්ධතියට අයත් තඹ පටි මීටර් 2,199ක් සොරකම් කිරීම හේතුවෙන් රුපියල් කෝටියක පමණ දැවැන්ත අලාභයක් සිදුව ඇති බව පොදු ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.
මෙම සොරකම සම්බන්ධයෙන් සිවිල් කොන්ත්රාත් සේවකයෙකු සහ නාවික හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, සොරකම් කළ තඹ පටිවල ප්රමාණය සහ පොලිසිය සොයාගත් ප්රමාණය අතර පවතින පරස්පරතා පිළිබඳව කාරක සභාවේ දැඩි අවධානය යොමු විය.
රෝහලේ දේපළ කළමනාකරණය සහ අභ්යන්තර පාලන ක්රමවේදවල පවතින දුර්වලතා පිළිබඳවද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි. රෝහල ආරම්භයේ සිටම දේපළ ලේඛන නිසි ලෙස පවත්වා නොගැනීම සහ අකුණු සන්නායක පද්ධති වැනි වැදගත් අංශවල නඩත්තු කටයුතු නිසි ලෙස සිදු නොකිරීම ගැටලුවක් බව කාරක සභාව පෙන්වා දුන්නේය.
සොරකමෙන් පසු අකුණු සන්නායක පද්ධතිය ප්රතිසංස්කරණය කිරීමේදී තඹ වෙනුවට ඇලුමිනියම් කම්බි භාවිත කිරීමේ තාක්ෂණික ගැටලු පිළිබඳවද නිලධාරීන්ගෙන් ප්රශ්න කර ඇත. එසේම, රෝහලේ ඇතැම් වාට්ටු සහ ශල්යාගාර පූර්ණ වශයෙන් භාවිතයට නොගැනීම සහ කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් පවතින ගැටලු නිරාකරණයට කඩිනම් පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබේ.
රෝහල පවත්වාගෙන යාම සඳහා රජයේ හෝ පෞද්ගලික ආකෘතියක් තෝරා ගැනීම සහ විශ්වවිද්යාල පනත කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්යතාවද කාරක සභාව අවධාරණය කළේය. වෛද්ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමට ත්රිවිධ හමුදාපතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ විශ්වවිද්යාල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
