පසුගිය 17 වැනි දින රට පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සකස් කළ මූලික විමර්ශන වාර්තාව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර ඇත.

එම වාර්තාවට අනුව, සිද්ධිය වූ දින පෙරවරු 11.43ට පමණ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් මෙගාවොට් 187ක විදුලි ධාරිතාවක් මිලි තත්පර 450ක් ඇතුළත පද්ධතියෙන් අහිමි වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස විදුලි පද්ධතියේ සංඛ්‍යාතය හර්ට්ස් 48.75 දක්වා වේගයෙන් පහත වැටී ඇති අතර, තත්පර 4.1ක් වැනි කෙටි කාලයක් තුළ සමස්ත විදුලි පද්ධතියම බිඳවැටී ඇත.

පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ස්වයංක්‍රීය විදුලි බර විසන්ධි කිරීමේ ක්‍රමවේදයේ (UFLS) අදියර 05ම එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ බවත්, ඒ හරහා මෙගාවොට් 449.2ක විදුලි බරක් විසන්ධි වූ බවත් වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත්, එම පියවරයන්ගෙන් පද්ධතියේ සම්පූර්ණ බිඳවැටීම වළක්වා ගැනීමට නොහැකි වී ඇත.

මෙම බිඳවැටීමෙන් පසු ජාතික සම්ප්‍රේෂණ පද්ධතිය යළි යථා තත්ත්වයට පත් කිරීමට පැය 05යි මිනිත්තු 15ක කාලයක් ගතවී ඇති අතර, පස්වරු 4.58 වන විට සියලු ප්‍රධාන උපපොළවල් යථා තත්ත්වයට පත් කිරීමට පද්ධති ක්‍රියාකරු සමත්ව ඇත. විදුලිය යළි ලබා දීමේදී ඇතැම් බලාගාරවල තාක්ෂණික ගැටලු සහ මෙහෙයුම් ප්‍රමාදයන් ද වාර්තා වී තිබේ.

නොරොච්චෝලේ බලාගාරයේ ජනන ඒකකයේ විදුලි බලය හදිසියේ අහිමි වීමට බලපෑ නිශ්චිත හේතුව තවමත් තහවුරු වී නොමැති අතර, ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදී මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version