දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති 36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. දින කිහිපයක් පුරා පැවැති මෙම තරගාවලියේ සමස්ත සම ශූරතාව ලකුණු 130 බැගින් ලබා ගනිමින් ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්ක හිමිකර ගත්තේය. ලකුණු 106ක් ලබාගත් ගාල්ල දිස්ත්‍රික්කයට තෙවැනි ස්ථානය හිමිවිය.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කළ මෙම ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව තරග වාර්තා 09ක් සහ පිහිනුම් තරග වාර්තා 21ක් පිහිටුවීමට සමත් වීම විශේෂත්වයකි.

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ.ඩබ්.ජී.ජේ.එස්. විජේතුංග තේරී පත් වූ අතර, දක්ෂතම ක්‍රීඩකයා ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ එම්.ඩී. චතුරංග සම්මාන දිනා ගත්තේය. ඔහු මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 50.06කින් නිම කරමින් නව තරග වාර්තාවක් ද පිහිටුවීය.

සම ශූරතාව දිනාගත් ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා කුසලාන සමඟ රුපියල් 200,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමිණි. තෙවැනි ස්ථානය දිනාගත් ගාල්ල දිස්ත්‍රික්කයට රුපියල් 100,000ක මුදල් ත්‍යාගයක් හිමි විය.

සමාප්ති උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන්, දේශපාලන නියෝජිතයන් සහ ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version