රට තුළ පවතින ගෑස් සැපයුම් අර්බුදය හේතුවෙන් කොළඹ නගරයේ පිහිටි සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණවල පදිංචිකරුවන් දැඩි පීඩාවට පත්ව සිටිති. නළ මාර්ග ඔස්සේ ගෑස් බෙදාහැරීම සිදුකරන ප්‍රධාන පෙළේ මහල් නිවාස සංකීර්ණවල පවා ගෑස් තොග අවසන් වෙමින් පැවතීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත.
ගාලුමුවදොර පිටිය ආසන්නයේ පිහිටි සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණයක පදිංචිකරුවන්ට සිය කාර්ය මණ්ඩලය විසින් කෙටි පණිවුඩයක් මගින් දැනුම් දී ඇත්තේ, පවතින සීමිත ගෑස් තොගය ආරක්ෂා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් ගෑස් භාවිත කරන ලෙසයි. විදුලියෙන් ක්‍රියාත්මක වන උපකරණ වැඩිපුර භාවිත කරන ලෙස ද ඔවුන්ට උපදෙස් ලබා දී ඇත.
නාරාහේන්පිට ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක ද මෙවැනිම තත්ත්වයක් වාර්තා වන අතර, දෙසැම්බර් මාසය සඳහා ප්‍රමාණවත් ගෑස් තොග නොමැති වීම හේතුවෙන් එහි පාලනාධිකාරිය දැඩි අසීරුතාවට පත්ව සිටී. මීට අමතරව, නිවාස වෙත ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ ‘හෝම් ඩිලිවරි’ සේවාවන් ද මේ දිනවල අත්හිටුවා ඇති බව පදිංචිකරුවෝ පවසති.
මේ අතර, ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ නොවැම්බර් මාසයේදී ගෑස් නෞකා කිහිපයක් මෙරටට පැමිණීමට නියමිත බවයි. හම්බන්තොට පර්යන්තය හරහා දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත්, අනාගත සැපයුම් ස්ථාවර කිරීම සඳහා නව ටෙන්ඩර් කැඳවා ඇති බවත් එම සමාගම වැඩිදුරටත් කියා සිටී.
