කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටි අවන්හල්වල ආහාරවල ගුණාත්මකභාවය සහ සනීපාරක්ෂක තත්ත්වය පිළිබඳව මහජනතාවට පැමිණිලි කිරීම සඳහා නවීන QR කේත පද්ධතියක් හඳුන්වා දීමට කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය මේ වන විට වැල්ලවත්තේ සිට බම්බලපිටිය දක්වා ප්‍රදේශවල සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර, ඉදිරියේදී කොළඹ 01 සිට 15 දක්වා සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මෙය ව්‍යාප්ත කිරීමට නගර සභාව අපේක්ෂා කරයි. මේ පිළිබඳව අදහස් දක්වමින් කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සඳහන් කළේ, නගරයේ ඇති සෑම අවන්හලකම මෙම QR කේතය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර ඇති බවයි.

පාරිභෝගිකයින්ට අදාළ QR කේතය ස්කෑන් කිරීම මගින් ලබා දෙන පෝරමය හරහා තම පැමිණිලි සෘජුවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත යොමු කළ හැකිය. පැමිණිලි ඉදිරිපත් කරන පුද්ගලයාගේ අනන්‍යතාවය රහසිගතව තබා ගැනීමට පියවර ගන්නා බව බලධාරීන් සහතික කරයි.

පැමිණිලි ඉදිරිපත් කිරීමේදී අදාළ ආහාර මිලදී ගත් බිල්පත සුරක්ෂිතව තබා ගන්නා ලෙසත්, පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව අදාළ ආහාර වර්ග නැවත අවන්හලට භාර නොදෙන ලෙසත් මහජනතාවට උපදෙස් දෙනු ලැබේ. මීට අමතරව, 011 267 6161 යන දුරකථන අංකයට ඇමතීමෙන් හෝ [email protected] විද්‍යුත් ලිපිනය හරහාද පැමිණිලි යොමු කළ හැකි බව නගර සභාව වැඩිදුරටත් දැනුම් දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version