ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අභිමානයෙන් යුතුව ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක “ආරෝග්‍යා” සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථාන නියමු ව්‍යාපෘතියේ 2026 වසරට අදාළ වාර්ෂික ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගියදා හලාවතදී පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, සෞඛ්‍ය සේවා පද්ධතියේ ඕනෑම ප්‍රතිසංවිධානයක් සාර්ථක කර ගැනීමට නම් ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන් ඒ පිළිබඳ මනා අවබෝධයකින් යුතුව සාමූහිකව කටයුතු කළ යුතු බවයි. පුරවැසියන්ට අධික මූල්‍ය බරක් නොවන පරිදි ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බවද ඔහු පැවසීය.

මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය මෙන්ම තෘතීයික රෝහල් පද්ධතිය ද නවීන තාක්ෂණයෙන් හා පහසුකම්වලින් සන්නද්ධ කිරීමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම වසර අවසන් වීමට පෙර සියලු තෘතීයික රෝහල් මධ්‍යම රජය යටතට පවරා ගැනීමේ සැලසුම් ද ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමාලෝචන වැඩසටහනේදී “ආරෝග්‍යා” තොරතුරු තාක්ෂණ පද්ධති, ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන්, මානව සම්පත් කළමනාකරණය සහ ප්‍රමිතිගත සත්කාරක සේවා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. සර්වජන සෞඛ්‍ය ආවරණය තහවුරු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් මෙන්ම දිවයින පුරා සේවයේ නියුතු වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version