ලොව පුරා සිටින යොවුන් පරිශීලකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් Meta සමාගම විසින් නව වයස තක්සේරු කිරීමේ තාක්ෂණයක් හඳුන්වා දී තිබේ. මේ යටතේ ගිණුම් නිර්මාණය කිරීමේදී ව්‍යාජ වයස් තොරතුරු ලබා දී ඇති යොවුන් පරිශීලකයින් හඳුනා ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කිරීමට නියමිතය.

මෙම නව ක්‍රමවේදය හරහා යොවුන් වියේ පසුවන බවට තහවුරු වන පරිශීලකයින්ගේ Instagram ගිණුම් ස්වයංක්‍රීයව ‘යොවුන් ගිණුම්’ ආරක්ෂක සැකසුම් වෙත මාරු කරනු ලැබේ. එමඟින් ඔවුන්ගේ පෝෂක තුළ නුසුදුසු අන්තර්ගතයන් දර්ශනය වීම සීමා වන අතර, වඩාත් ආරක්ෂිත අත්දැකීමක් හිමි වනු ඇත.

ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් මෑතකදී එල්ල වූ දැඩි විවේචන සහ නීතිමය අභියෝග හමුවේ Meta සමාගම මෙම පියවර ගෙන තිබේ. සමාජ මාධ්‍ය වේදිකාවල ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ පරිශීලකයින්ගේ තිර භාවිත කාලය පාලනය කිරීම සඳහා විවිධ පාර්ශ්ව සමඟ එකඟතාවන්ට එළඹීමට ද සමාගම කටයුතු කර ඇත.

නව වයස් තක්සේරු කිරීමේ විශේෂාංග සහ ආරක්ෂක විධිවිධාන ඉදිරි ජනවාරි මාසයේ සිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version