රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අත්සන් කරන ලද ගිවිසුම් සහ බැඳුම්කර කොන්දේසි කඩකරමින් කටයුතු කළ කථිකාචාර්යවරුන්ගෙන් රජයට අයකර ගැනීමට ඇති සමස්ත මුදල රුපියල් බිලියන 30කට ආසන්න විය හැකි බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය කරගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂවලට අදාළ විගණන වාර්තා මෙන්ම ආයතනික කාර්යසාධනය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
බැඳුම්කර කොන්දේසි කඩකරමින් විදේශගත වූ පුද්ගලයන්ගෙන් අදාළ හිඟ මුදල් කඩිනමින් අයකර ගැනීම සඳහා විධිමත් හා ස්ථාවර ක්‍රමවේදයක් සකස් කිරීමේ දැඩි අවශ්‍යතාව මෙහිදී කාරක සභාව විසින් අදාළ නිලධාරීන්ට පෙන්වා දී තිබේ.
මීට අමතරව, විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා පරිපාලන කටයුතු සම්බන්ධයෙන්ද විගණන නිරීක්ෂණ රැසක් ඉදිරිපත් වී ඇත. විශේෂයෙන්ම, සේවක පැමිණීම තහවුරු කිරීමේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර පද්ධතිය මඟහරමින් කටයුතු කළ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ නිවාඩු සීමාවන් ඉක්මවා ගොස් වැටුප් ලබාගත් අවස්ථා පිළිබඳවද දැඩි අවධානයක් යොමුව තිබේ.
රාජ්‍ය මුදල් පරිහරණය කරන සියලුම විශ්වවිද්‍යාල දැඩි මූල්‍ය විනයකට හා වගකීමකට යටත් විය යුතු බව අවධාරණය කළ කාරක සභාව, ආයතනික විනිවිදභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
