ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හටගෙන ඇති කැලඹිලි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියේදී අඩුපීඩන කලාපයක් සහ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම කාලගුණ විපර්යාසයේ බලපෑම ලබන 15, 16 සහ 17 යන දිනවලදී දිවයිනට දැඩි ලෙස එල්ල විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේය. විශේෂයෙන්ම උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වය ඉදිරියේදී ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් දත්ත අධ්‍යයනය කරමින් පවතින බවත්, ඉදිරි තත්ත්වය මත පදනම්ව අවශ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කරන බවත් බලධාරීන් ප්‍රකාශ කර ඇත. පීඩන අවපාතයක් ලෙස වර්ධනය වී නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කළහොත් මෙරටට එහි බලපෑම තදින් දැනිය හැක.
මේ අතර, අද දින දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණය පිළිබඳව නිකුත් කළ නවතම නිවේදනයක දැක්වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වීමේ හැකියාව පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. එපමණක් නොව, ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණ අංශ පෙන්වා දෙයි.
