මාතලේ දුම්රිය මාර්ගය ජාතික දුම්රිය ජාලය සමඟ වඩාත් කාර්යක්ෂමව ඒකාබද්ධ කිරීමේ අරමුණින්, සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදිකිරීමට රජය තීරණය කර ඇත. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට නියමිතය. දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ දුම්රිය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස මෙම ඉදිකිරීම් සිදු කෙරේ.

මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති තදාසන්න දුම්රිය ජාල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම පියවර ගෙන ඇත. දැනට පවතින තනි දුම්රිය මාර්ග පද්ධතිය හේතුවෙන් ඇති වී තිබෙන ධාරිතා ගැටලු නිරාකරණය කිරීම මෙහි මූලික අරමුණයි.

මෙම ව්‍යාපෘතියේ තවත් අදියරක් ලෙස පේරාදෙණියේ සිට කඩුගන්නාව හරහා ගම්පොළ දක්වාත්, පේරාදෙණියේ සිට කටුගස්තොට දක්වාත් දුම්රිය මාර්ග ද්විත්ව මාර්ග ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මේ වන විට එම ව්‍යාපෘතියට අදාළ ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කෙරෙමින් පවතී.

මෙම නවීකරණයන් හරහා දේශීය දුම්රිය ජාලයේ විශ්වසනීයත්වය සහ ප්‍රවාහන සම්බන්ධතාවය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version