කලාවැව කඩවර දේවාලයේ ප්‍රධාන කපුවා සහ තවත් පුද්ගලයෙකු අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය සහ විශාල මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කවරක්කුලම පොලිසිය පවසයි.

අනුරාධපුර, කුම්බිච්චන්කුලම වැව අසල පිහිටි හෝටලයක සැඟවී සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 170ක් සහ රුපියල් 24,43,480ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

පසුගිය 14 වන දින උණගස්වැව හංදියේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී මෙම පිරිස හඳුනාගෙන තිබේ. අනතුර සිදු වූ අවස්ථාවේදී අදාළ මෝටර් රථයේ කපුවා ගමන් කර ඇති අතර, අනතුරින් පසු රියදුරු සහ කපුවා එම ස්ථානයෙන් පලාගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් 48 හැවිරිදි ප්‍රධාන කපුවා සහ 31 හැවිරිදි රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version