බෝධිසත්ව ගුණෝපේත, පිණ්ඩපාතික අසරණ සරණ රාජගුරු වැලිවිට ශ්‍රී සරණංකර සඟරාජ මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන ‘සඟරජ බුහුමන්’ ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය හෙට (19) මහනුවර, කුණ්ඩසාලේ පල්ලේකැලේ සිබා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු මැති ඇමැතිවරුන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් ඊට සහභාගි වීමට නියමිතය. ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් සහ අනුනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය ද මෙම අවස්ථාවට හිමිවනු ඇත.

පිරිවෙන් අධ්‍යක්ෂ මාදෝවිට වජිර බුද්ධි හිමිපාණන් පවසන පරිදි, සඟරාජ මාහිමිපාණන් වහන්සේගේ 1698 ජූනි 19 දිනට යෙදෙන ජන්ම දිනය මුල් කරගනිමින් මෙම ජාතික උත්සවය සංවිධානය කර ඇත. උත්සවයට සමගාමීව අද (18) දිනයේ සිට විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ප්‍රදර්ශන කුටි 20ක් විවෘත කෙරෙන අතර, ඒවා පිරිවෙන් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ දැනුම වර්ධනය කිරීම අරමුණු කරගෙන තිබේ.

මෙම රාජ්‍ය මහෝත්සවයේදී අන්තර් පාරිවේණික සිසු නිපුණතා තරගවලින් ජයග්‍රහණය ලැබූ සිසුන් සඳහා සහතික සහ කුසලාන ප්‍රදානය කිරීම සිදු කෙරේ. මීට අමතරව, සමස්ත පිරිවෙන් පද්ධතියේ දියුණුව වෙනුවෙන් කැපවූ මහා සංඝරත්නය සහ විශේෂ පුද්ගලයන් දස දෙනෙකු වෙත උපහාර පිදීම ද සිදු කිරීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version