රට තුළ මේ වන විට සිදුවෙමින් පවතින දූෂණ, අක්‍රමිකතා සහ රාජ්‍ය මුදල් අවිධිමත් ලෙස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් සකස් කළ සවිස්තරාත්මක වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙරට නේවාසික නියෝජිතවරිය වෙත භාර දී ඇත.
මෙම වාර්තාව සම්බන්ධයෙන් නියෝජිතවරිය සමඟ සාධනීය සාකච්ඡාවක් පැවැත්වූ බවත්, ඒ පිළිබඳව වොෂින්ටන්හි පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානය දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ඇය ප්‍රකාශ කළ බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
රජය මහජන බදු මුදල් අකාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට ලක්ව ඇති බවත්, සාර්ව ආර්ථික ස්ථාවරත්වය සඳහා IMF ලබාදෙන දායකත්වය අගයන අතරම රජයේ නාස්තිකාර වියදම් සහ මූල්‍ය විෂමාචාරයන් කෙරෙහි කඩිනම් අවධානය යොමු කරන ලෙසත් විපක්ෂය එහිදී ඉල්ලා තිබේ.
ගල් අඟුරු ටෙන්ඩර්, ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රසම්පාදන ගැටලු, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවූ අක්‍රමිකතා, රේගුවෙන් බහලුම් පිටකිරීම සහ විද්‍යුත් තැපැල් වංචා ඇතුළු සිදුවීම් මාලාවක් මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත. රාජ්‍ය ආයතනවල පාලන තන්ත්‍රය සහ ආරක්ෂණ ක්‍රමවේද බිඳ වැටීම නිසා මෙවැනි මූල්‍ය කාන්දුවීම් සිදුවන බව ඔවුන් පෙන්වා දෙයි.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීමට සහ දූෂණ විරෝධී පියවරයන් වෙත යොමුවීමට රජයට බලපෑම් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටී.
