විවිධ අපරාධවලට සම්බන්ධව විදේශ රටවල් 13ක සැඟව සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112 දෙනෙකු ලබන වසර වන විට මෙරටට ගෙන්වා නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ මේ වන විටත් සැකකරුවන් 68 දෙනෙකු මෙරටට ගෙන්වා නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධවලින් නීති විරෝධී ලෙස මුදල් උපයාගත් පුද්ගලයන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ දැඩි නීතිමය පියවර ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

නීති විරෝධී ලෙස උපයාගත් දේපළ හඳුනාගෙන ඒවා රජයට පවරා ගැනීම සඳහා පොලිසියේ විශේෂ කොට්ඨාස දෙකක් පැය 24 පුරාම විමර්ශන සිදු කරයි. ඒ අනුව 2024 වසරේ සිට මේ දක්වා රුපියල් මිලියන 4,695කට අධික වටිනාකමකින් යුත් ඉඩකඩම්, රන් ආභරණ සහ යානවාහන රජයට පවරා ගැනීමට සැලසුම් කර ඇත.

මෙම මෙහෙයුම් මගින් පසුගිය කාලය තුළ හෙරොයින්, අයිස්, ගංජා සහ කොකේන් ඇතුළු විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මහාධිකරණ නඩු විභාගවලින් පසු ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ මරණ දඬුවම නියම කළ හැකි බව පොලිසිය සිහිපත් කරයි.

මෙම අපරාධ මැඩලීමේ මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ද හිමිවන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු ඇත්නම් 1818 කෙටි දුරකතන අංකයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version