ජාතික පෝෂණ මාසයට සමගාමීව, පාසල් ආපනශාලා තුළින් සිසුන්ට සෞඛ්‍යාරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර ලබාදීම අරමුණු කරගත් නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී එළිදක්වන ලදී.

මෙම වැඩසටහන මගින් පාසල් දරුවන් අතර බෝ නොවන රෝග අවදානම අවම කිරීම, නිවැරදි ආහාර රටාවන් පිළිබඳ ආකල්ප ඇති කිරීම සහ ආපනශාලා පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු සනීපාරක්ෂක ක්‍රමවේදයන් තහවුරු කිරීම අපේක්ෂා කෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි.

උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, පාසල්වල විවිධ ව්‍යාපෘති සඳහා ලබාගන්නා අනුග්‍රාහකත්වයන් වෙනුවෙන් දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර ආහාර ලබාදීම වහා නතර කළ යුතු බවයි. අනාගත පරපුරේ නිරෝගීභාවය වෙනුවෙන් මෙවැනි දැඩි තීරණ ගැනීමට සියලු පාර්ශවයන් කැපවිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෑතකාලීන සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ පාසල් සිසුන් අතර සීනි, ලුණු සහ මේදය අධික ආහාර පරිභෝජනය ඉහළ මට්ටමක පවතින බවයි. විශේෂයෙන්ම ක්ෂණික ආහාර සහ කාබනීකෘත බීම වර්ග කෙරෙහි සිසුන් දක්වන නැඹුරුව පාලනය කිරීම සඳහා මෙම නව මාර්ගෝපදේශ මාලාව ඉවහල් වනු ඇත.

මෙම මාර්ගෝපදේශ මාලාව පාසල්වලට පමණක් සීමා නොකර, රාජ්‍ය ආයතනවල උත්සව සහ රැස්වීම් සඳහා ද අනුගමනය කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ජාතික පෝෂණ මාසය මෙවර “කෙටි ආහාර ගැන නැවත සිතමු – සෞඛ්‍ය සම්පන්න, ස්වාභාවික කෙටි ආහාර තෝරමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version