යාපනය අර්ධද්වීපයට අයත් නයිනතිව් (නාගදීපය), අනලතිව් සහ ඩෙල්ෆ් දූපත්වාසීන්ට අඛණ්ඩ සහ ගුණාත්මක විදුලි සැපයුමක් ලබාදීම සඳහා නව හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙම ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක පමණ ආයෝජනයකින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 1.7ක සූර්ය බලශක්ති බලාගාරයක්, කිලෝවොට් 750ක සුළං විදුලි බලාගාරයක් සහ මෙගාවොට් පැය 2.4ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ස්ථාපිත කෙරේ. මෙමගින් දූපත්වාසීන්ට පැය 24 පුරාම ස්ථාවර විදුලි බලයක් ලැබෙනු ඇත.

මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, දැනට පවතින අධික පිරිවැයක් සහිත ඩීසල් ජනන පද්ධති මත යැපීම අවම කරමින්, පරිසර හිතකාමී සහ තිරසාර බලශක්ති විසඳුමක් ජනතාවට ලබාදීම රජයේ අපේක්ෂාව බවයි.

අඛණ්ඩ විදුලි සැපයුම ලැබීමත් සමඟ දූපත්වල ධීවර කර්මාන්තය ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම් මෙන්ම සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ යනු ඇතැයි රජය අපේක්ෂා කරයි. මෙම අවස්ථාව සඳහා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version