මෙරට රූපවාහිනී ක්ෂේත්‍රයේ විශාලතම තාක්ෂණික වෙනස සනිටුහන් කරමින් ක්‍රියාත්මක වන ජාතික ඩිජිටල් රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එළඹෙන 2029 වසර වන විට මෙම ඩිජිටල් රූපවාහිනී සේවාව නිල වශයෙන් මහජනතාව වෙත මුදා හැරීමට මෙහිදී තීරණය කෙරිණි. ව්‍යාපෘතියේ ඉදිකිරීම් සහ තාක්ෂණික කටයුතු කිසිදු බාධාවකින් තොරව වේගවත් කිරීමට අවශ්‍ය මූල්‍ය හා පරිපාලනමය පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මගින් යෙන් මිලියන 400ක අතිරේක ප්‍රදානයක් ලබා දීමට නියමිතය. මෙම අරමුදල් ප්‍රධාන වශයෙන් යොදාගනු ලබන්නේ නවීන තාක්ෂණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා බව අනාවරණය විය.

මෙම අවස්ථාව සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version