රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ දේශපාලන කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, වත්මන් රජය අභියෝග මධ්‍යයේ වුවද රටේ ආර්ථිකය ක්‍රමානුකූලව කළමනාකරණය කර ගැනීමට සමත් වී ඇති බවයි. අතීතයේ පැවති වැරදි පාලන තන්ත්‍රයන් නිසා බංකොලොත් වූ භාණ්ඩාගාරයක් භාර ගැනීමට වත්මන් රජයට සිදුවූ බවත්, එම තත්ත්වයෙන් රට මුදා ගැනීමට මේ වන විට සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

විපක්ෂය විසින් ආණ්ඩුවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ, අතීතයේ රට පාලනය කළ පිරිසට තිබූ ‘පළපුරුද්ද’ නිසාම රට අගාධයට ගිය බවයි. “ඔවුන්ට තිබූ පළපුරුද්ද අපට නැහැ. ඒ පළපුරුද්ද නිසා තමයි ජනතාව ඔවුන්ව පාරට බැස පලවා හැරියේ. රටේ මුදල් කාබාසීනියා කිරීමට සහ වැරදි කිරීමට ඔවුන්ට තිබූ අත්දැකීම් නිසා අවසානයේ රට බංකොලොත් වුණා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඩොලරයේ අගය ඉහළ යාම සහ ඉන්ධන මිල ගණන් පාලනය කරගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක වෙමින් පවතින බවත්, අනාගතයේදී රට සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ජයසිංහ මහතා විශ්වාසය පළ කළේය. කිසිදු අවස්ථාවක ජනතාව මත බර පටවා කටයුතු නොකරන බවත්, ජනතාවාදී පාලනයක් ගෙන යාම රජයේ අරමුණ බවත් ඔහු අවධාරණය කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ දේශපාලන පළිගැනීම් ලෙස විපක්ෂය හඳුන්වන චෝදනා ප්‍රතික්ෂේප කළ නියෝජ්‍ය ඇමැතිවරයා, එම පරීක්ෂණ නීතිමය රාමුව තුළ ස්වාධීනව සිදු කෙරෙන බව පැවසීය. ජාතිවාදය හෝ ආගම්වාදය අවුස්සමින් බලයට ඒමට උත්සාහ කරන පටු දේශපාලන අරමුණු පරාජය කළ යුතු බවත්, රටේ සාමය සහ ආර්ථික උන්නතිය වෙනුවෙන් සියලු දෙනා එක්විය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version