ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘B’ කාණ්ඩයේ පැවැති තීරණාත්මක තරගයකින් කැනඩාව පරාජය කරමින් ගෝල 2-1ක ජයක් වාර්තා කිරීමට ස්විට්සර්ලන්තය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනාගත් ස්විට්සර්ලන්තය, ලෝක කුසලාන තරගාවලියක පිට පිටම හතර වතාවක් පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබූ තුන්වැනි රට බවට පත්විය.
පරාජයට පත්වුවද, කැනඩා කණ්ඩායම කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් සිය පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක කුසලාන තරගාවලියක පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසීමට සමත් වීම කැපී පෙනේ. වැන්කුවර් නුවර පැවැති මෙම තරගයේදී ස්විට්සර්ලන්තය වෙනුවෙන් රූබන් වර්ගාස් සහ ජොහෑන් මන්සැම්බි ගෝල වාර්තා කළහ.
මේ අතර, එම කාණ්ඩයේම පැවැති තවත් තරගයකින් කටාර් රාජ්‍යය ගෝල 3-1ක් ලෙස පරාජය කිරීමට බොස්නියා-හර්සගොවිනා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ බොස්නියාව ලෝක කුසලාන ඉතිහාසයේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කළ අතර, ඔවුන් තෙවැනි ස්ථානයෙන් තරගාවලිය නිමා කළද මීළඟ වටයට පිවිසීමේ බලාපොරොත්තු තවමත් රඳවාගෙන සිටී.
කැනඩාව සිය මීළඟ තරගය ජූනි 28 වැනිදා ලොස් ඇන්ජලීස්හිදී ‘A’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගන්නා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතය. ස්විට්සර්ලන්තය සිය මීළඟ තරගය ජූලි 3 වැනිදා වැන්කුවර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් වේ.
