ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල හෘද රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් නවීනතම කැත් රසායනාගාර (Cath Lab) ඒකක 04ක් ඉදිරි සතිය තුළ ස්ථාපිත කිරීමට නියමිතය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1200ක මුදලක් වැය කර ඇති අතර, එක් ඒකකයක වටිනාකම රුපියල් මිලියන 300කි. අති නවීන තාක්ෂණයෙන් යුත් ‘Canon Alphenix Core+ Evolve Edition’ පද්ධති මෙලෙස රෝහල් පද්ධතියට එක් කෙරේ.
සැලසුම් කර ඇති පරිදි ජුනි 27 වැනිදා යාපනය ශික්ෂණ රෝහලේදීත්, ජුනි 30 වැනිදා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදීත් නව ඒකක විවෘත වේ. මීට අමතරව, ජුලි 02 වැනිදා කොළඹ ජාතික රෝහලට තවත් කැත් රසායනාගාර ඒකක 02ක් එක් කිරීමට නියමිතය.
මෙම නවීන උපකරණ මගින් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් රෝග විනිශ්චය කිරීමේ හැකියාව පවතින අතර, විකිරණ මාත්‍රාව අවම කරමින් ඉතා පැහැදිලි රූප ලබා ගැනීමට වෛද්‍යවරුන්ට අවස්ථාව ලැබේ. එමගින් රෝගීන්ට වේගවත් සහ ආරක්ෂිත ප්‍රතිකාර ලබා දීමත්, ශල්‍යකර්ම සඳහා පවතින පොරොත්තු ලේඛන අවම කර ගැනීමත් අපේක්ෂා කෙරේ.
