අම්පාර රෝහලේ සේවය කළ භෞතචිකිත්සකවරියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලදී, සැකකරුවන්ට නීතියෙන් බේරී පලායෑමට සහ සැඟවී සිටීමට සහාය ලබාදුන් බව කියන කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයෙකු නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. මොහු මීට පෙර මැණික්හින්න පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස ද සේවය කර ඇති අයෙකි.
පොලිස් විමර්ශනවලට අනුව, මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුට සැඟවී සිටීමට පහසුකම් සැපයීම සඳහා මැදිහත් වී ඇත්තේ කුණු ලොරි රියැදුරෙකි. එම රියැදුරු සහ අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා සමීප මිතුරන් බවත්, රියැදුරුගේ ඉල්ලීම මත ස්ථානාධිපතිවරයා සැකකරුට උපකාර කිරීමට ඉදිරිපත් වී ඇති බවත් හෙළිවී ඇත.
ප්‍රධාන සැකකරු පොලිසිය නොමග යැවීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කර ඇති අතර, තමන් එවැනි ක්‍රමෝපායන් ඉගෙන ගත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී එහි සිටි අපරාධකරුවන්ගෙන් බව ඔහු ප්‍රකාශ කර තිබේ. විවාහ පොරොන්දු ලබාදී රුපියල් කෝටි එකහමාරක මුදලක් වංචා කිරීමෙන් පසු මෙම ඝාතනය සිදුකර තිබූ අතර, සැකකරු ඉන්දියාවට පලායෑමට උත්සාහ කරද්දී අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
