විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ මඟපෙන්වීම යටතේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ කෑගල්ල දිස්ත්‍රික් විදාතා ප්‍රදර්ශනය සහ නවෝත්පාදන සායනය පසුගියදා කෑගල්ල නගර සභා ශාලාවේදී උත්සවාකාරයෙන් ආරම්භ විය.

පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ, ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ප්‍රාදේශීය මට්ටමින් බිහිවන ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සංවර්ධනය කිරීම සහ ඔවුන්ගේ නවෝත්පාදන හැකියාවන් දිරිගැන්වීමයි.

මෙම ප්‍රදර්ශනය තුළ පාසල් සිසුන් සහ ප්‍රදේශයේ ව්‍යවසායකයින් විසින් නිර්මාණය කරන ලද නව නිපැයුම් සහ උපකරණ රැසක් ප්‍රදර්ශනයට තබා තිබුණි. මෙහිදී ගලිගමුව විදාතා මධ්‍යස්ථානයේ ව්‍යවසායිකා නිලක්ෂි විජේසිංහ මහත්මිය වෙත GMP ජාත්‍යන්තර තත්ත්ව සහතිකය සංකේතාත්මකව පිරිනැමීම ද සිදු විය.

එමෙන්ම, ව්‍යවසායකයින් සඳහා මූල්‍ය පහසුකම් ලබාගැනීම පිළිබඳව මහජන බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු උපුල් බණ්ඩාර මහතා විසින් දැනුවත් කිරීමේ සැසියක් ද පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ විදාතා අධ්‍යක්ෂ මනෝජි කරුණාරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් කුසුම් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින් සහ පාසල් සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version