ඉන්දියාවේ පූනේ නුවර ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකු වූ කේතන් අගර්වාල්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ පෙම්වතිය වන සියා ගෝයල්ගේ මව්පියන් විසින් සිය දියණිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇත.
තම දියණිය මෙම අපරාධයට සම්බන්ධ බව අධිකරණයේදී ඔප්පු වුවහොත්, ඇයට නීතියෙන් ලබාදිය හැකි උපරිම දඬුවම ලබාදිය යුතු බව ඇයගේ මව පූජා ගෝයල් සහ පියා ප්‍රවීන් ගෝයල් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ. “අපේ දියණිය මෙවැනි දෙයක් කළා කියලා තවමත් විශ්වාස කරන්න අමාරුයි. නමුත් ඇය වැරදිකාරිය බව නීතිය ඉදිරියේ තහවුරු වුවහොත්, ඇයට උපරිම දඬුවම ලබාදිය යුතුයි,” යනුවෙන් ඔවුන් සංවේගයෙන් ප්‍රකාශ කර ඇත.
පොලිස් විමර්ශනවලට අනුව, 26 හැවිරිදි කේතන් අගර්වාල් සමඟ විවාහ වීමට සියා ගෝයල් අකමැත්තෙන් සිට ඇති අතර, ඒ හේතුවෙන් ඇය සිය මිතුරෙකු වන චේතන් චෞද්‍රි සමඟ එක්ව මෙම ඝාතනය සැලසුම් කර ඇති බවට පොලිසිය සැක පළ කරයි. පසුගිය මැයි 31 වැනිදා ලොහගාඩ් බලකොටුවේදී කේතන්ව ප්‍රපාතයට තල්ලු කිරීමට උත්සාහ කර ඇති අතර, ජූනි 14 වැනිදා තවත් අසාර්ථක උත්සාහයක් දරා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සියා ගෝයල් සහ චේතන් චෞද්‍රි ලබන ජූනි 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත. පූනේ ග්‍රාමීය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.
