ශ්‍රී ලංකා පොලිසියේ උතුරු පළාත් රාජකාරි සහ මහජන සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින්, නවීන TATA Xenon Yodha කැබ් රථ 134ක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාර දීම පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට මහජන ආරක්ෂක අමාත්‍ය කේ.එම්. ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙම වාහන තොගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වයේ සංකේතයක් ලෙස ඉන්දීය රජය විසින් පිරිනමන ලද්දකි.

TATA වාහන සඳහා මෙරට බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම විසින් මෙම රථ සපයා ඇති අතර, ඒවා පොලිස් රාජකාරිවලට ගැළපෙන පරිදි විශේෂ ආරක්‍ෂිත ආවරණ සහ ආසන පද්ධතිවලින් සමන්විතව සකස් කර ඇත. දුෂ්කර ප්‍රදේශවල මෙහෙයුම් කටයුතු සහ දෛනික මුර සංචාර සඳහා මෙම රථවල ඇති කල්පැවැත්ම සහ කාර්යක්ෂමතාව ඉමහත් පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට අදහස් දක්වමින් DIMO විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා සඳහන් කළේ, ජාතික මට්ටමේ සේවා කටයුතු සඳහා මෙවැනි දායකත්වයක් ලබා දීමට ලැබීම සමාගමේ විශ්වාසනීයත්වය තවදුරටත් තහවුරු කරන බවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version